ආයුබෝවන්

Sunday, February 5, 2012

මොනවද මේ QR Codes ?

නවීන පාරිභෝගික භාණ්ඩ, ඉලක්ටොනික උපාංග හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැති ඉරි සමූහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් හැකියාවන්ගෙන් සමන්විත කේත ක්‍රමයක් ලෙස QR Codes හදුන්වා දිය හැක. මේ කේතය ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරැ ලබා ගත හැකි නිසා Quick Response Code - QR Code ලෙස නම් කර ඇත. බාර් කෝඩ් වල දී දත්ත ගබඩා වනුයේ ඒක මාන ලෙස නමුත් QR Code එකක දී තොරතුරැ ගබඩා වනුයේ ද්වි - මාන සමචතුරස්‍රයක් තුල වූ කුඩා කොටු රටාවක ආකාරය ගත් කේත ක්‍රමයකට ය.මෙහි ඇති ප්‍රධාන වාසිය නම් බාර් කෝඩ් එකකට වඩා වැඩි තොරතුරැ ප්‍රමාණයක් සෙ.මි. 2 තරමේ කොටුවක අඩංගු කළ හැකි වීම යි.


QR Codes  මුලින්ම භාවිතයට ගැනුනේ රථ වාහන කාණ්ඩ කිරීමේ කේතය ක් ලෙස යි. ටොයෝටා සමාගමේ  හවුල්කාර සමාගමක් වන ඩෙන්සෝ සමාගම විසින් 1994 දී මෙය ප්‍රථම වරට දියූණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වෙගවත් බව හා ධාරිතාවය නිසා QR Codes ඉතා ඉක්මනින් ජනප්‍රිය වී ඇත. ජපානය , ඇමෙරිකාව හා යුරෝපීය රට වල QR Codes  ඉතා ප්‍රචලිතව පවතී.මෙහි ඇති විශේෂත්වය නම් ‍භෞතික ලෝකය හා ඩිජිටල් ලෝකය එක් කරවන මාධ්‍යයක් ලෙස QR Codes  ක්‍රියා කිරීම යි.  මෙම කේත ක්‍රියාත්මක තත්වයට පත්කර ගැනීමට අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කල යුතු ය. පළමු අවශ්‍යතාවය වනුයේ QR Codes   කියවිය හැකි QR Code Reader  මෘදුකාංගයක් ඔබ සතුව තිබීම යි. එසේ ම මෙම මෘදුකාංගය ස්ථාපනය කල හැකි , කැමරාවක් සහිත පුද්ගල පරිඝණකයක් හෝ ටැබ්ලට් පරිඝණකයක් හෝ ස්මාට් දුරකථනයක් දෙවැනි අවශ්‍යතාවය වේ.QR Codes  වලින් වැඩිම ප්‍රයෝජනයක් ගත හැක්කේ ස්මාට් දුරකථන වැනි ජංගම උපාංගයක් සමග භාවිතා කිරීමේදී ය.

QR Codes  එකක් තුල අක්ෂර 4296 ක් හෝ අංක පමණක් නම් 7096 ක් උපරිම වශයෙන් ගබඩා කල හැකි ය.මේ නිසා වෙබ් ලිපින , වෙළද නාම , නිෂ්පාදන , ලිපින , දුරකථන අංක හා අවශ්‍ය නම් තමාගේ නම් පත වුව ද ඇතුලත් කර QR Codes තැනිය හැක.මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ දුරකථන කැමරාව යොමුකර QR Codes Reader  එකක් මගින් කේතය ස්කෑන් කල පසු ස්වංක්‍රීයව අදාල වෙබ් අඩවියට ඉතා කෙටි කාලයකින්( තප්පර 5 ක්) යොමු වීමට හැකි වීම යි.  කේතය තුල නම් පතක් ගබඩා කර ඇති විට එය ස්වංක්‍රීයව දුරකථනයේ Contact List  එකට එකතු කිරීමේ හැකියාව ද මෙයට පවතී.දියුණු රටවල බස්රථ හා දුම්රිය කාලසටහන් මේ තාක්ෂණය යොදා මුද්‍රණය කර ඇත. එසේම ඉතා කුඩා ඉඩක් තුල වැඩි තොරතුරැ ප්‍රමාණයක් රැදවිය හැකි නිසා මෙය වාසිදායක ප්‍රචාරක ක්‍රමයකි. QR Codes  වල ඇති කේතයන් මැකීයාම ,ඉරී යාම හෝ වෙනත් හේතු නිසා කියවීමට නොහැකි වුවහොත් එය නිවැරදි කරගෙන කේතය කියවීමේ හැකියාව ද ( Error correction) මේ යාන්ත්‍රණයට ඇත.


ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය තොරතුරැ ඇතුලත් කර තමාගේ ම QR Code  එකක් තනා ගත හැකි ය. ඒ සදහා පහත දැක්වෙන වෙබ් අඩවි පහසුකම් සලසා දි තිබේ.
http://www.i-nigma.com/CreateBarcodes.html
http://www.zxing.appspot.com/generator

1 comment:

  1. ඉතා හොද ලිපියක්.. හුගාක් වාදගත් දේවල් ඉගෙන ගත්තා... දිගටම ලියන්න.. ජයෙන් ජය

    ReplyDelete